Thursday, September 13, 2012

වායු ගෝලීය සාමාන්‍ය සංසරණ ක්‍රියාවලිය (සුළං සංසරණය)




ස්වභාවික පරිසරයෙහි සංකීර්ණ නිර්මාණයක් වූත් හැඩයක්, වර්‍ණයක් හෝ භෞතික වශයෙන් ආකෘතිමය ලෙස දක්නට නොලැබුණු අපගේ සංවේදනයට පමණක් ගෝචර වන  “සුළඟ”  පිළිබඳ ඔබ යම් දිනෙක හෝ සිතා ඇත් ද? එහි ක්‍රියාකාරීත්වය, මෙවැනි ස්වභාවික ප්‍රපංචක වැදගත්කම හෝ මෙවැනි ස්වභාවික සංසිද්ධියක් බල පැවැත්වෙන්නේ ඇයි යන්න මොහොතකට හෝ සිතා ඇත් ද? මේ සුළං ක්‍රියාවලිය පිළිබඳ භූගෝල විද්‍යාත්මක විවරණයකි.
වායු ගෝලය මාධ්‍යයක් කරගනිමින් චලන ස්වරූපයෙන් සුළ‍ගෙහි හැසිරීම සිදු වේ. ඉතා සරළව වායු ගෝලීය සංසරණ ක්‍රියාවලිය ලෙස භූගෝල විද්‍යාවේ දී හඳුනා ගනු ලබන්නේ සුළං සංසරණ ක්‍රියාවලියයි. 


වායු ගෝලයෙහි  සුළං චලනය වීම එසේත් නැත්නම්  සංසරණය වීම සිදු වන්නේ වායු ගෝලීය පිඩනය නිසාවෙනි. එනම් ගුරුත්වාකර්ෂන බලය නිසා නිරන්තරයෙන් වායු ගෝලය විසින් ‍ පොළව මතට යම්කිසි තෙරපීමක්  සිදු කරනු ලබයි. මෙය වායු පීඩනය නම් වේ.වායු ගෝලයෙහි ස්ථර කිහිපයක්ම පවතින හෙයින් ඉහළ වායු ස්ථරයන්ගේ නිරන්තර තෙරපීම පහළ වායු ගෝලය වෙත බල පවත්වන නිසා මිනිස් අප වෙසෙන පහල වායු ගෝලය වන පරිවර්තී ගෝලයෙහි වායු පීඩනය වැඩිය. නමුත් අදික වායු තෙරපීම ‍ජෛව ප්‍රජාවට අහිතකර නොවන්නේ ඔවුන්ගේ ශරීර අභ්‍යන්තර පීඩනය බාහිර වායු ගෝලීය පරිසරයෙහි වායු පීඩනයට සමාන වන බැවිනි.කෙසේ වෙතත් පරිවර්තී ගෝලයෙහි ද වායු පීඩනය එක් තැනෙකින් තවත් තැනකට වෙනස් වේ. මෙලෙස වායු ගෝලීය පරිසරයෙහි යම් තැනක අඩු පීඩනයක් පවතී නම් වැඩි පීඩනයක සිට වාත ස්කන්ධ ඒ අඩු තැනෙට ඇදී ඒ.මේ ආකාරයට වැඩි පීඩනයක සිට අඩු පීඩනයක් දක්වා වාත ස්කන්ධ චලනය වීම “සුළං” නැතිනම් වායු ගෝලීය සංසරණ ක්‍රියාවලිය වශයෙන් හඳුන්වනු ලබනවා.
 සුළං ක්‍රියාවලිය ඇති වීම සඳහා බලපාන භෞතික සංසිද්ධීන් කිහිපයක්ම පවතිනවා. ඒ අතර
·        කොරියෝලිස් බලය (පීඩන අපක්‍රමන බලවේගය)
·        පීඩන අනුක්‍රමණ බලවේගය
·        කේන්ද්‍ර අභිසාරී හා අපසාරී බලවේගය
·        ඝර්ෂණ බලය
                                                       හදුනා ගත හැකිය.

කොරියෝලිස් බලය (පීඩන අපක්‍රමන බලවේගය)

                                             කොරියෝලිස් නමැත්තා විසින් මෙම බලවේගය හඳුනා ගෙන ප්‍රකාශ කිරීම නිසා මෙයට කොරියෝලිස් බලය යැයි කියනු ලබයි.
                                             පෘථිවි අර්ධ ගෝල දෙකෙහි සුළං ක්‍රියාකාරීත්වය දිශා දෙකකට අනුව සිදු වේ.ඒ අනුව උතුරු අර්ධගෝලයෙහි දක්ෂිණාවර්ථව හා දකුණු අර්ධගෝලයෙහි වාමාවර්ථව සුළං දිශාව වෙනස්ව ක්‍රියාත්මක වේ. මෙලෙස දිශා දෙකකට සුළං ක්‍රියාවලිය බල පැවැත්වෙන්නේ කොරියෝලිස් බලය හේතුවෙනි. පෘථිවි භ්‍රමණය කොරියෝලිස් බලයේ නිර්මාණයට හේතු වන බව කොරියෝලිස් නමැත්තාගේ හඳුනා ගැනීම වේ.මේ නිසා උතුරු අර්ධ ගෝලයෙහි අඩු පීඩන කලාපයක් තුළට සුළං හමනුයේ වාමාර්ථිතවය.වැඩි පීඩන කලාපයකින් පිටට සුළං හමනුයේ දක්ෂිණාවර්ථිතවය. නමුත් දකූණු අර්ධ ගෝලයෙහි මෙය සිදුවනුයේ මීට ප්‍රතිවිරුද්ධ ලෙසිනි.
                                             අපක්‍රමණ නියමයට අනුව නිරක්ෂයේ සිට උතුරට හා දකුණට යත්ම අපක්‍රමණය ක්‍රමයෙන් වැඩි වන බව දක්වා ඇත.ඒ අනුව කොරියෝලිස් බලය ධ්‍රැවයේ දී අදික වන අතර නිරක්ෂයේ දී ශුන්‍ය වේ. භෞතික න්‍යායන්ට අනුව මීට හේතුව පෘථීවි පෘෂ්ටය ක්‍රමයෙන් භ්‍රමණ අක්ෂයට සමාන වීමය.
                                             කොරියෝලිස් බලය සුළං, සාගර ප්‍රවාහ මෙන්ම මිසයිල රොකට් යනාදියේ පියාසර මාර්‍ග නිශ්චය කිරීම සඳහා ද ඉතා වැදගත් වේ.

පීඩන අනුක්‍රමණ බලවේගය
                                             සුළං ක්‍රියාවලියෙහි හැඳින්වීමෙහි දි මේ පිළිබඳ කථා කර ඇති නිසා ඔබට තේරුම් ගැනීම පහසු වේ.පීඩන රේඛාවන් අනුව පීඩනය වෙනස් වන දිශාව හා වේගය පීඩන අනුක්‍රමණය ය.
                                             පෙර සඳහන් කළ පරිදි පීඩනයේ අසම ව්‍යාප්තිය හේතු කොට ගෙන වාත ස්කන්ධ වැඩි තැනෙක සිට අඩු තැනෙකට ඇදී යයි. වායු ගොලයේ ඝනත්වය වැඩි නම් ආංශික පීඩනය වැඩි වේ.ඝනත්වය අඩු නම් ආංශික පීඩනය අඩුය. මෙවැනි වෙනස්කම් නිසා  ආංශින චලනයේ විසංතුලනයක් ඇති වන අතර ඒ හේතුවෙන් වාත ස්කන්ධ වැඩි තැනෙක සිට අඩු තැනෙකට තල්ලු කරයි.එය පීඩන අනුක්‍රමණය ය. මෙම චලන බොහෝ විට තිරස් ආකාර වූවත් පීඩන අනුක්‍රමණය සිරස් අතට ද සිදු වේ.
                                             පීඩන වෙනස වැඩි නම් අනුක්‍රමණ බලය ද වැඩි අතර පීඩන වෙනස අඩු නම් අනුක්‍රමණ බලය ද අඩු වේ.ඊට අනුව සුළගේ වේගය ද අඩු වැඩි වේ.  සම පීඩන රේඛාවන් ඈත්ව පිහිටයි නම් මද පීඩන අනුක්‍රමණයක් වන අතර සුළං හැමිම සෙමින් සිදු වේ. දළ පීඩන අනුක්‍රමණයක දී සුළං හැමීමේ වේගය වැඩිය.

කේන්ද්‍ර අභිසාරී හා අපසාරී බලවේගය
                                             සුළං ක්‍රියාකාරීත්වයට බලපාන තවත් ස්වභාවික සංසිද්ධියක් වේ.වායු ගෝලය අවට පීඩනය වැඩි වේ නම් හා පීඩන මණ්ඩලයේ මධ්‍යයේ  පීඩනය අඩු වේ නම් අසංතුලිතතාවය සමතුලිත කිරීමට අවට වායු ධාරා පීඩන මණ්ඩලයේ මධ්‍යයට පැමිනෙනුයේ කේන්ද්‍ර අභිසාරී බලවේගය හේතුවෙනි. එමෙන්ම වැඩි පීඩන මණ්ඩලයක වායු ස්කන්ධ, අවට අඩු පීඩන ප්‍රදේශ වෙත ගමන් කරනුයේ කේන්ද්‍ර අපසාරී බලය හේතුවෙනි. මේ බලවේගයන්ගේ බලපෑම සුළං සංසරණ ක්‍රියාවලියෙහි කවාකාර  ස්වරූපයට හෙතු වී ඇත.

ඝර්ෂණ බලය
                                             පෘථීවියේ ස්වභිවිකව පවතින කඳු බාධක, වෘක්ෂලතා, හරිත පටි මෙන්ම උස් ගොඩනැඟිලි ආදිය සුළ‍ඟේ තිරස් ගමනට බාධා ඇති කරයි.මෙම බාධක සුළඟට ඝර්ෂණයක් ඇති කරනු ලබයි. මේ නිසා සුළං වේගය හා දිශාව වෙනස් වේ. ඝර්ෂණ බලවේගය පහළ වායු ගෝලය තුළ ක්‍රියාත්මක වේ.
                                             ඝර්ෂණ බලයට හසු වන පහළ වායු ගෝලීය සුළං භූ තල සුළං වේ.එමෙන්ම ඝර්ෂණ බලයට හසු නොවී ඉහළ වායු ගෝලය තුළ නැගෙනහිර සිට බටහිරට  හෝ බටහිර සිට නැගෙනහිරට හමා යයි. මේවා භූවර්ථන සූළං වේ. ඝර්ෂණ බලවේගය නිසා කඳු කර වැසි ඇති වන අතර සුළං මුවාව වියළි ප්‍රදේශයක් බවට පත් කරයි. එමෙන්ම ගොඩබිම දී වාසුළි, කුණාටු වැනි අහිතකර කාලගුණ තත්වන්ගේ බලය  අඩු කිරීමට ද ඉවහල් වේ.


                                             වායු ගෝලීය සාමාන්‍ය සංසරණ ක්‍රියාවලිය සඳහා ඉහත භෞතික ප්‍රපංචයන්ගේ ක්‍රියාකාරීත්වය ඉවහල් වී ඇත.